☼☼☼ : ඉලක්කයට විසිකරන්න පුහුණුවෙමු : ☼☼☼

Monday, March 16
අපිට නොයෙක් නොයෙක් ඉලක්ක තියනව. ජීවිතය ගැන, අධ්‍යාපනය ගැන,රෑකියාව ගැන ආදී එ‍කී මෙකී නොකී සෑම අංශයක් ගැනම ඉලක්කයක් තබා ගත්තෙ නැත්නම් දියුණුවක් ලබාගන්න අමාරැයි.
ඒවගෙම සමහර වෙලාවට ඉලක්කයට වෙඩි තියන්න,විදින්න, විසිකරන්න සිදුවන අවස්ථාත් උදාවෙනව. ඉතින් අද මට හිතුන ඉලක්කයට විසිකරන්න පුහුණුවෙන්න ක්‍රමයක් හඳුන්වල දෙන්න.මේක ‍විනෝදෙට කරන්න පුළුවන් වැඩක්.ඒත් ඒකට යම් යම් දේවල් ටිකක් හදාගන්න වෙනව. මුලින්ම බලමු කොහොමද ඒව හදාගන්නෙ කියල. මේකට පහත දේවල් අවශ්‍යයි.

1.ඝනකම් ඉටි කොළයක් ( ඝනකම් කඩදාසියක් වුනත් ගන්න පුළුවන් ඒත් කල්පැවැත්ම අඩුයි)
2.සෙ.මී 5 විතර දිගට කපාගත් උණ පතුරැ 4 ( මම නම් මේක හදන ද‍වස්වල ගත්තෙ අලිය ගිණි පෙට්ටියෙ ලී කූරැ දැන් එ‍්ව නැහැ)
3.අල්පෙනිත්තක්
4. නූල් පන්දුවක්
5.වයරින් ටේප්
6.ඝනකම් කාඩ්බොඩ් එකක් (සෙ.මී 30 x සෙ.මී 30) විතර
7.ප්ලැටිග්නම් හෝ පර්මනන්ට් මාකර් (Permanent Marker)එකක්


විශාල කර බලන්න Middle mouse button හෝ Ctrl+Click

මුලින්ම ඉටිකොළේ දෙකට නවල රෑප සටහනේ ආකාරයට කපා ගන්න. ඒව තමා ඊතලේ පෙති විධිහට ගන්නෙ. මේ වගේ කපාගත් ‍ඒව 2 තිබුනම ඇති එකකට.ඊටපස්සෙ අල්පෙනිත්ත අරගෙන අර උණ පතුරැ 4 අතරට තියල නූලෙන් හොඳට එහාමෙහා යන‍්නෙ නැති වෙන්න තදින් ගැට ගහන්න.කපාගත් පෙති දෙක රෑප සටහනේ තියන විදිහට උණ පතුරැ අස්සෙන් ඇතුල් ‍කරල ඒවත් එහා මෙහා යන්නෙ නැති වෙන්න තදින් ගැටගහන්න.දැන් උණ පතුරැ 4 නූලෙන් හොඳට වෙළල ‍ගැටගහන්න. වයරින් ටේප් වලින් නූල සහ උණ පතුරැ නොපෙනෙන්න වෙළල කටයුත්ත නිමා කරන්න.

මේවගේ 6 විතර හදා ගත්තම හරි . වයරින් ටේප් එකේ පාටයි ගන්න ඉටි කොළේ පාටයි වෙනස් කරමින් පාටවල් කිහිපයක කුඩා ඊතල කිහිපයක් සාදාගත හැකියි.

දැන් ප්ලැටිග්නම් හෝ පර්මනන්ට් මාකර් එකෙන් අර ඝනකම් කාඩ් බොඩ් එකේ රෑප සට‍හනේ ආකාරයට රවුම් කිහිපයක් ඇඳගනිමින් ඉලක්ක පුවරැව සකසාගන්න.(ඒක අඳින්න කවකටුවක් ඕනෙ නැහැ ‍ඩ්‍රෝවින්ග් පින් එකක් මැද්දට ගහල නූලක් ඒකෙ ගැටගහල ගත්තම වැඩේ ලේසියි. අවශ්‍ය දුර ප්‍රමාණයට නූල අරගෙන ප්ලැට්ග්නම් එකේ ගැටගහල කරකවන්න.)

මේ කාඩ්බොඩ් එක කාමරේ බිත්තියෙ හරි දොරේ හරි සවිකර ගත්තම. ඉලක්කයට ඊතල ටික විසිකරන්න තමයි තියෙන්නෙ.

විශේෂයෙන් සඳහන් කරන්න දෙයක් තියනව මේවයින් අහිංසක සත්තුන්ට හරි මිනිස්සුන්ට හරි හිරිහැර කරන්න යන්න එපා. බොහොම ආරක්ෂාකරීව පරිහරණය කරන්න ඕනෙ.

මේ විදිහට කරන ක්‍රීඩාවක් තියනව එකට කියන්නෙ Darts කියල. මම මේ කලේ Darts board එකක් හදන හැටි පැහැදිලි කිරීමක් නෙමෙයි. මේක මම විනෝදෙට ඉලක්කයට විසි කරන්න හදාගත්ත එකක්. Darts Game එකේ ඒව හදන සම්මත ක්‍රම තියනව. වෙනමම ඒවට ක්‍රීඩා නීති රීති තියනව. මගෙ ල‍ඟත් දැන් ඒ බොඩ් එකක් තියනව ඒක ගත්තෙ රැකියාවක් කරන්න පටන්ගත්තටත් පස්සෙ. කලින් මම පුරැදු වුනේ දුප්පත් කාඩ්බෝඩ් එකට මමම හදාගත්‍ත ඊතල විසි කරල තමයි :).

:::::: ඉබේ වැසෙන දොර >>>>>>>>

Friday, March 13
පැහැදිලිව දැක බලා ගැනීමට රෑපය මත Middle mouse button හෝ Ctrl+Click භාවිත කරන්න.


‍ගොඩක් අයට දොරක් විවෘත කලහම ඒක නැවත වහන්න අමතක වෙනවනෙ. මෙන්න ඒකට සරල පිළිමයක් නෙමෙයි පිළියමක්. වැඩිය ලොකු ලොකු දේවල් අවශ්‍ය නැහැ.

1. ඉස්කුරැප්පු ඇණ 2 කුයි ( සාමාන්‍ය ඇණ වුනත් කමක් නැහැ)
2. රෙදි වලින් සාදාගත් වැලි පිරවූ කුඩාකොට්ටයකුයි
3.දොරේ ප්‍රමාණය අනුව සැලකිය යුතු දිගකින් යුත් තංගුස් ලණුවකුයි
4.ඇණ සවි කිරීමට ඉස්කුරැප්පු නියනක් හරි මිටියක් හරි

රෑප සටහනකුත් දාල තියනවනෙ ඉතින් කරන්න යන‍ දේ දැනටමත් පැහැදිලි ඇති.මුලින්ම දොර විවෘත වන පැත්තෙ උලු අස්සෙ උඩින් කෙලවරට වෙන්න පළමු ඇණය සවි කරගන්න. එයට තංගුස් ලණුව ගැට ගසන්න. අවශ්‍ය දිග ප්‍රමාණය සකසා ගනිමින් වැලි පිරවූ කොට්ටයද ගැට ගසන්න. දෙවන ඇණය දොර පියනේ උඩ කෙලවරට වන ආකාරයට රෑප සටහනේ පරිදි සවි කරන්න. එම ඇණය මගින් දොර විවෘත කලවිට වැලි කොට්ටය කෙලවරට ‍ගොස් සිරවීම වලකයි. කොට්ටයේ ඇති වැලි අඩු වැඩි කරමින් දොර වැසිය යුතු වේගය සකසා ගන්න.

මම මේක මුලින්ම අත්හ‍දා බැලුවෙ Bath Room එකේ දොරට. වැලි කොට්ටයක් වෙනුවට පාවිච්චි කලේ පොඩි ප්ලාස්ටික් වතුර බෝතලයක්. වැ‍‍ඩේ ටික කාලයක් හොඳට ගියා ඒත් එක දවසක් හදිස්සියට දොර හයියෙන් විවෘත කරන්න ගිහින් නාගන්න වුනා සබනුත් තිබ්බ හින්ද අවුලක් වුනේ නැහැ :). ගබඩා කාමරේ දොරටත් එකක් හයි කරන්න ‍ඕනෙ.

ඕනෙම කෙනෙකුට මේව අත්හදා බලන්න පුළුවන්. අත් දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි පිටට දෙනු. මම මේ ඉදිරිපත් කරන ක්‍රම මීට වඩා හොඳ ක්‍රමයකට කරන්න පුළුවන් විධි ගැන අදහස් පහල වන අය විස්තර දාන්න හො‍‍ඳේ..

■◘■◘■◘■◘ කාඩ් බෝඩ් අදහස් ■◘■◘■◘■◘

Wednesday, March 11
කාඩ් බොඩ් ඕන තරම් අපි දැකල තියනව, ඒ වගෙම අපි ඒව කොච්චර අපතේ දානවද?.ඒත් ඒවයින් අළුත් නිර්මාණයක් කරන්න අදහසක් පහල වෙන්නෙ කීයෙන් කීදෙනාටද? මේ කාඩ්බෝඩ් ගැන අදහසක් පහල වුන කෙනෙක්ගෙ අපූරැ නිර්මාණ ඒකතුවක්, බලන්න හොඳද කියල.

විශාල කර බලන්න ඕනෙ නම් පින්තූර උඩ Ctrl+Click කරන්න.

■ මේක කාඩ්බොඩ් වලින් හදපු පුටුවක්.කුඩා දරැ‍වෙකුට වුනත් සවිකර ගන්න පුළුවන්. තමන්ම සවිකරගත් පුටුවෙ මෙයා වාඩිවෙලා ඉන්න අපූරැව බලන්නකො.


■ මේ තියන්නෙ කුඩා ස්ටූලයක් සහ ටීපෝ එකක්. බය නැතුව තේ එකක් වුනත් තියන්න පුළුවන්. එච්‍චරට මේ කාඩ්බොඩ් ගෘහ භාණ්ඩ ශක්තිමත්.



■ මේක විදුලි ලාම්පුවක්. හයිකරන්න ඕනෙ කරන ‍වයරැයි ,උපදෙස් පත්‍රිකාවයි, බල්බ් එකයි ඔක්කොම ති‍යෙන්නෙ එකට. ඒකියන්නෙ මේ නිර්මා‍‍ණ අහුරන්න වෙනම කාඩ්බොඩ් ඇසුරැම් නැහැ. හොඳට බලන්න හැම නිර්මාණකටම ඒක පොදුයි.




෴ 20-20-20 නීතිය ෴

Monday, March 9
‍අපි ගොඩක් වෙලාවට එක දිගට පැය ගනන් පරිගණක තිරය දිහා බලාගෙන ඉන්නවනෙ.ඉතින් අපේ ඇස් අපිට නොදැනීම විඩාවට පත් වෙනව මොකද අපි ඇස් වෙහෙසනව ‍වැඩියි. ඒවගේම ඇස් වල තෙතමනය නැතිවෙලා වියලි බවට පත් වෙනව. ඒවගෙම අපි වැඩි වෙලාවක් ඇස් නාභිගත කරගෙන ඉන්නෙ ළඟ තියන වස්තුවලට (බොහෝ වෙලාවට මොනිටර් එකෙන් එහාට ඇහැ යවන්නෙම නැහැ කවුරැ හරි කතා කලහම උත්තර දෙන්නෙත් මොනිටරය දිහා බලාගෙන) මේ සියළු කරැණු කාර‍ණා අනුව අපි දවස අවසානයේ ඉන්නෙ ආතතියට පත් වෙලා කිව්වොත් නිවැරදියි. මෙන්න මේ තත්වෙන් ගැලවෙන්න තමයි 20-20-20 නීතිය අවශ්‍ය වෙන්නෙ. මොකක්ද මේ 20-20-20 නීතිය?

1 වන නීතිය෴
සෑම විනාඩි 20 වරක් පරිගණක තිරයෙන් ඉවතට හැරී අඩි 20 ඈතින් ඇති වස්තුවක් දිහා මිනිත්තු කිහිපයක් බලාගෙන ඉන්න.මේ ක්‍රියාවෙන් ඇහැ දුර වස්තුවකට නාහිගත වෙනව ඒකෙන් ඇහේ මාංශපේශි ඉහිල් වෙනව.

2 වන නීතිය෴
පිළිවෙලින් 20 වතාවක් ඇසි පිය හෙලන්න. මෙයින් ඇසේ වියලි බව නැතිකර සජීවි බවක් ලබාදෙනව, ඇසේ තෙතමනය රඳවාතබනව. (හැකි කමක් ඇත්නම් වතුරින් ඇස් තෙමන්න.)

3 වන නීතිය෴
විනාඩි 20 වරක් පියවර 20 සක්මන් කරන්න. එකම ඉරියව්වක රැඳී සිටින ඔබගේ ශරීරය පුරා රැධිර සංසරණය ක්‍රමාණුකූලව සිදුවීමට එම ක්‍රියාව උපකාරී වේවි.

:: නූල් රෝදයට බලය කවමු ►►►►

Sunday, March 8


විශාල කර බැලීමට රෑප සටහන මත Ctrl+Click කරන්න

අවශ්‍ය දේවල්
1.කුඩා ඇනයක් (ටින්ටස් ඇනයක් තමයි මම ගත්තෙ)
2.ඉරටු කැබලි 2 ක් (එකක් කෙටියට සහ අනික දිගට )
3.රබර් පටියක් ( ලී රෝදෙ දිග + ඉටිපනදම් කැබැල්ලෙ දිගට පොඩ්ඩක් අඩු දිගකින් යුතු)
4.ලී නූල් රෝදයක් ( මේක හොයාගන්න ටිකක් අමාරැයි. දැන් මේව අඩුයි)
5.ඉ‍ටිපන්දමකින් කපාගත් කුඩා කොටසක්

මුලින්ම කුඩා ඇණය සවි කරන්න.කුඩා ඉරටු කැබැල්ල රබර් පටිය තුලින් දමා ලී රෝදයේ සිදුරෙන් ඇතුල් කරන්න. ඉටිපන්දමකින් රෑප සටහනේ ආකාරයේ කුඩා කොටසක් කපා ගන්න. මැද ඇති නූල අයින් කර සිදුරක් විදගන්න. (රත්කරපු ඇණයක් මගින් පහසුවෙන් විදින්න පුළුවන්) රබර් පටිය එම සිදුර තුලින්ද දමන්න. දිග ඉරටු කැබැල්ල රබර් පටියේ එම කෙලවර තුලින් ඇතුල් කරන්න.

දැන් රබර් පටිය ආතතියටත් ඇඹරීමටත් ලක්වන පරිදි රෑප සටහනේ පරිදි නූල් රෝදය එක අතකින් අල්ලා අනෙත් අතින් දිග ඉරටුව කරකවා බිමින් තබන්න. නූල‍් රෝදය සෙමෙන් ඉදිරියට ඇදෙනු ඔබට දැක ගත හැකි වේවි.


මේක ඇත්තටම මම 1 ව‍සරෙ විතර ඉන්න කොට හදපු එකක් මට මේක කියල දුන්නෙ කවුද කියල මතක නැහැ. මට සෙල්ලම් වාහන ගොඩක් තිබ්බ ඒත් මමම හදාගත්තු මේ සෙල්ලම් බඩුවට තරම් ඇල්මක් ඒවට තිබ්බෙ නෑ.

මට කියන්න ඕනෙ උනේ මේකයි. අද ලංකාවෙ ඉන්න පොඩි අයට මේවගේ දෙයක් තමන්ම හදාගෙන විනෝද වෙන්න තරම් වෙලාවක් නෑ එවගේම උවමනාවකුත් නැහැ. ඉතින් නිර්මාණශීලීත්වයක් දියුණුවෙන්නෙ කොහොමද? මම අහල දැකල තියනව ජපානෙ ඉන්න පොඩි අය ඉලෙක්ට්‍රොනික් පරිපථ වලින් පොඩි කාලෙදිම, එක එක වාහන, රොබෝල, වගේ දේවල් හදල තරඟ පවා තියනව. පාසල් වලින්ම ඒවට ඒගොල්ලන්ට අනුබල දෙනව. ඉතින් ඒ අය ලොකු වෙලා අළුත් නිර්මාණ ලෝකෙට බිහි කරනව. අපේ දරැවන්ට ශිෂ්‍යත්ව පන්තියි, OL ,AL පන්තියි මිසක් ඉන් බාහිර දේවල් හිතන්න කරන්න කියන්න අවස්ථා නැති වෙලා තියනව.

ලොකෙට අළුත් නිර්මාණයක් දායාද කරන්න PhD ඕනෙ නෑ. අළුත්,වෙනස් විදිහකට හිතල ඒක ක්‍රියාත්මක කරන්නයි අවශ්‍ය. අනික අළුත් නිර්මාණයක් ගැන හිතන්න කිව්වම අභ්‍යාවකාශ තාක්‍ෂණය වගේ ලොකු ලොකු දේවල් ගැන හිතල, නිර්මාණ බිහි කරන්න බය වෙන්න එපා. එදිනෙදා තමන් මුහුණ දෙන ප්‍රශ්නයකට විසඳුමක් ගැන කල්පනා කරන්න. උදාහරණයකට Paper Clip එක අරන් බලන්න ඒක මොනතරම් සරල ඒත් මොනතරම් ප්‍රයොජනවත් නිර්මාණයක්ද?



ඉඳිකටුවට නූල ඇමිනීම පහසු කරමු

Saturday, March 7
විශාල කර බැලීමට රෑප සටහන මත Ctrl+Click කරන්න


ඉඳිකටුවකට නූලක් අමුනන එක ටිකක් සැලකිල්ලෙන් කරන්න ඕනෙ ඒකක්.අවධානය හොඳට තියෙන්න ඕනෙ ඒත් කොච්චර කලත් එහෙම කරගන්න බැරි අයත් ඉන්න පුළුවන්. එහෙම අයට හාවිත කරන්න පුළුවන් උපකරනයක් හදන හැටි තමා ‍මම මේ පෙන්නල දීල තියෙන්නෙ.

බැලූ බැල්මට නම් සරලයි ඒත් මේකෙ ප්‍රයෝජනවත් බව නම් ඉතා ඉහලයි.

අවශ්‍ය ‍ දේවල්,
1. Flexible Wire එකකින් වෙන් කරගත් 6 cm විතර දිග තඹ කම්බියක්( එක පොටක් සෑහෙයි)
2. ගම් ස්වල්පයක්
3. ඝනකම අඩු කාඩ්බොඩ් කැබැල්ලක් (මම නම් ගත්තෙ phone recharging Card එකක්)


රෑප සටහනේ 1 රෑපය ආකාරයට තඹ කම්බිය න‍වා සකස් කර ගන්න. ඉන්පසුව කාඩ් බොඩ් එක මත 2 රෑපයේ පරිදි එය තබා, මැදට ගම් දමා එම ආකාරයටම කපාගත් තවත් කාඩ් බොඩ් කැබල්ලක් මගින් කම්බිය මැදි කර අලවා ගන්න. කම්බිය ඉතා සියුම් බැ‍වින් එය ආරක්‍ෂිතව නොතැබුවහොත් එයට හාණි විය හැකියි. එබැවින් එයට 4 රෑප සටහනේ ආකාරයට වටේ පමණක් ගම්‍ යොදා එක සමාන කාඩ්බොඩ් කැබලි 2 මඟින් ආරක්‍ෂිත කවරයක් සාදා ගන්න. ඉන්පසු 6 රෑප සටහනේ ආකාරයට ඉඳිකටු සිදුර තුලින් කම්බිය ඇතුල් කර නූල දැමිය හැකි වෙයි.





~□~□~□ : දිවිය පහසු කරන නව අදහස් : □~□~□~

Friday, March 6
ලෝකයේ අළුත් විදිහකට හිතන අයට එදිනෙදා ජීවිතය පහසු කරවන අළුත් අදහස් පහල වෙනවා. මම ආසයි ඒවගේ අළුත් අදහස් වලට ඉතින් මගේ සිත් ගත් අළුත් නිර්මාණ බ්ලොග් එකට ඇතුලත් කරන්න හිතුව. ඒව දියුණු කරන්න පුළුවන් තවත් අළුත් අදහස් තියනවනම් ඒව එකතුකරන්න මේක බලන අයට පුළුවන්.


1. නව ආකාරයක ස්විචයක්


මේ අදහස ගොඩක් ලංකාවට වඩා යුරෝපීය රටවල ඉන්න අයට තමා සුදුසු. ඒ ගොල්ලො ගෙදරට ආපු ගමන් මුලින්ම කරන්නෙ කෝට් එක ගලවල එල්ලන එකනෙ. කෝට් එක එල්ලපු ගමන් කාමරේ ලයිට් එක පත්තු වෙන්න තමා මේ නිර්මාණය කරල තියෙන්නෙ.

2. දැල්වෙන දොර අගුල



මේ නිර්මාණය නව ආකාරයේ Door Handle එකක්. මේකෙ විශේෂත්වය තමා කරැවලේ වුනත් ගිහින් දොරක් ඇර ගන්න පහසු කිරීම. තවත් මේකෙ විශේෂත්වයක් තියනව විශේෂ වැඩසටහනක් මගින් මේවයෙ දැල්වෙන පාට වෙනස් කරන්න හැකි වීම. දොර ලොක් කරල නම් රතු පාටට දැල්වෙනව, ලොක් කරල නැත්නම් කොළ පාට

3.රැගෙන යා හැකි ශීත කරනය Portable Refrigerator



මේ අදහස විශාල ශීත කරන සඳහා ‍වියදම් කිරීමට අපහසු, එසේම තබා ගැනීමට ඉඩකඩ අඩු තැනින් තැනට නිතර යාමට සිදුවන අයටයි. බෝඩින් කාමර වල ඉන්න අයට මේක හොඳ නිර්මානයක්. මේකෙ තියන ‍වි‍ශේෂත්වය තමයි අවශ්‍ය ප්‍රමානයට අකුල ගන්න දිග හැරගන්න පුළුවන් වීම. ඒකෙන් අනවශ්‍ය ඉඩක් සිසිල් වීමෙන් වලක්වා ගන්න පුළුවන් ඒවගේම බලශක්තිය අඩුවෙන් වැය වෙන්නෙ. මේක සිසිල් වෙන්නෙ පහල සිට ඉහලට.